කාන්තාවන්ගේ පියයුරු පිළිකා

පියයුරු පිළිකා තත්ත්වය වැළඳෙන බොහෝ කාන්තාවන් අවුරුදු 50ට වැඩි අය වේ. නමුත් තරුණ කාන්තාවන්ට ද පියයුරු පිළිකා තත්ත්වය ඇති විය හැකිය. සෑම කාන්තාවන් අට දෙනකුගෙන් එක් අයෙකුට, පියයුරු පිළිකා තත්ත්වයක් ඇතැයි තම ජීවිත කාලය තුළ දී රෝග විනිශ්චය ලැබේ. මෙම තත්ත්වය එහි මූලික අවධිය තුළදී හඳුනා ගතහොත් ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලැබීමට සැලකියයුතු අවස්ථාවක් ඇත. එම නිසා කාන්තාවන් නිතිපතා තම පියයුරු පරීක්ෂා කර යම් වෙනසක් ඇත්දැයි බැලීම සහ එවැනි වෙනසක් ඇත්නම් ඔබගේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත් වේ. දුර්ලභ අවස්ථා වලදී පිරිමි අයට ද පියයුරු පිලිකා වැලදිය හැකිය.

පියයුරු පිළිකා තත්වයේ රෝග ලක්ෂණ

පියයුරු පිළිකා තත්ත්වයට රෝග ලක්ෂණ ගණනාවක් තිබිය හැකිය. පළමු ප්‍රත්‍යක්ෂ රෝග ලක්ෂණය ලෙස, සාමාන්‍යයෙන් පියයුරෙහි ගැටිත්තක් හෝ ඝනකම් ප්‍රදේශයක් දක්නට ලැබේ. මෙසේ පියයුරෙහි ඇතිවන බොහෝ ගැටිති පිළිකාමය නොවේ. නමුත් සෑමවිටම, එය ඔබගේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරවා ගැනීම වැදගත් වේ. ඔබට පහත ලක්ෂණ වලින් එකක් ඇති වුවහොත් ඔබගේ වෛද්‍යවරයා හමුවිය යුතුයි:

  • තනි පියයුරක හෝ දෙකෙහිම ප්‍රමාණයේ හෝ හැඩයෙහි වෙනසක් සිදු වුවහොත්
  • ඔබගේ තන පුඩු වලින් යම් ස්‍රාවයක් පිට වුවහොත් (මෙහි රුධිරයද මිශ්‍ර වී තිබිය හැකිය)
  • ඔබේ කිහිලි ප්‍රදේශයේ යම් ගැටිත්‍තක් හෝ ඉදිමීමක් ඇති වුවහොත්
  • ඔබේ පියයුරු මතුපිට සමේ වලගැසීමක් ඇති වුවහොත්
  • තන පුඩුවෙහි හෝ ඒ අවට කුෂ්ටයක් ඇති වුවහොත්
  • පියයුර තුලට ගිලී ගිය ස්වභාවයක් වැනි, ඔබේ තනපුඩුවල පෙනුමෙහි වෙනස්වීමක් ඇතිවුවහොත්

පියයුරු වල වේදනාවක් ඇති වීම සාමාන්‍යයෙන් පියයුරු පිළිකාවෙහි රෝග ලක්ෂණයක් නොවේ.

පියයුරු පිළිකා තත්ත්වයට හේතූන්

පියයුරු පිලිකා තත්ත්වය ඇතිවන නිශ්චිතම හේතු තවම සොයාගෙන නැත. නමුත්, පියයුරු පිලිකා තත්ත්වයක් ඇතිවීමේ අවධානම වැඩි කල හැකි යැයි පිලිගත් ඇතැම් සාධක ඇත. මේවාට:

  • වයස-ඔබ වයස්ගත වන විට එම අවදානම වැඩි වේ
  • පියයුරු පිළිකා ඇති පවුල් ඉතිහාසය
  • කලින් වතාවකදී පියයුරු පිළිකාවක් වැළඳී තිබීම
  • පසුගිය වතාවකදී පිළිකාමය නොවන ගැටිත්තක් පියයුරෙහි තිබී ඇත්නම්
  • උසින් වැඩිවීම, ශරීර ස්කන්ධය වැඩිවීම හෝ ස්ථුලතාවය
  • මත්පැන් පානය කිරීම

පියයුරු පිලිකා තත්වය රෝග විනිශ්චය කිරීම

ඔබගේ පියයුරු පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව, ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ පියයුරු පිළිකා සායනයකට යොමු කරවනු ඇත. මෙයට පියයුරු තිර ගැන්වීම(මැමෝග්‍රැෆි -Mammography) හෝ පටක පරීක්ෂාවක් අයත් විය හැකි ය.

පියයුරු පිලිකා වර්ග

පියයුරු වල විවිධ ප්‍රදේශයන්හි ඇතිවිය හැකි විවිධ පියයුරු පිළිකා වර්ග ගණනක් ඇත. පියයුරු පිලිකා බොහෝවිට පහත පරිදි බෙදා දක්වයි:

  • ආක්‍රමණශීලී නොවන පියයුරු පිළිකාව (එතැන්හි ම පවතින පිළිකාව-Carcinoma insitu) පියයුරු වල ඇති නාළවල දක්නට ලැබේ (Ductal carcinoma insitu/DCIS) පියයුරු තුළින් පිටතට ව්‍යාප්ත වීමට හැකියාව ලැබී නැත. මෙය සාමාන්‍යයෙන් මැමෝග්‍රෑම් පරීක්ෂණය අතරතුර දී සොයා ගැනේ. මෙය පියයුරේ ගැටිත්තක් ලෙස පිටතට පෙනෙන්නේ කලාතුරකිනි
  • ආක්‍රමණශීලී පියයුරු පිළිකාව-සාමාන්‍යයෙන් පියයුරු තුල ඇති නාල ආවරණය කරන සෛල වල ඇතිවේ. (Invasive ductal breast cancer) එසේම මෙය පියයුරු පිළිකාවල වඩාත් සුලභම ආකාරය වේ. මෙය පියයුරෙන් පිටතට ව්‍යාප්ත විය හැකිය. නමුත් එය අනිවාර්යෙන්ම ව්‍යාප්ත වන බව මෙයින් නොහැඟවේ

අනෙකුත් වඩා සුලභ නොවන පියයුරු පිළිකා තත්ව ලෙස:

පියයුරු පිළිකාව ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත විය හැකිය. මෙය සාමාන්‍යයෙන් රුධිරය හරහා හෝ කිහිලි ප්‍රදේශයේ වසා ගැටිති හරහා සිදුවේ. මේවා ස්ථන ග්‍රන්ථිවලින් බැක්ටීරියා සහ සෛල පෙරීමකට ලක් කරන කුඩා වසාග්‍රන්ථි වේ. මෙසේ සිදු වුවහොත් එය ද්විතීක හෝ මෙටාස්ථතික (Metastatic) පියයුරු පිළිකාව ලෙස හදුන්වයි.

පියයුරු පිළිකාව පරික්ෂා කිරීම

මැමොග්‍රැෆික පරීක්ෂාව-මෙහිදී පියයුරු වල x- කිරණ ඡායාරූප ගනු ලැබේ. පියයුරු පිළිකා තත්ත්වයේ මූලික අවධි හදුනා ගැනීමට ප්‍රධාන වශයෙන් පවතින ක්‍රමය මෙය වේ. නමුත්, මැමෝග්‍රෑම් පරීක්ෂණය මගින් ඇතැම් පියයුරු පිළිකා තත්ත්ව හඳුනා ගැනීමට නොහැකි විය හැකි බව ඔබ දැනගත යුතුය. පිළිකා තත්ත්වය නිසා ඔබට හානියක් ඇති නොවන විටකදී වුවත්, එමගින් ඔබව සැත්කම් වැනි අමතර පරික්ෂණ සහ මැදිහත් වීම් වලට ලක් වීමට ඇති හැකියාව වැඩිකල හැකිය. පියයුරු පිළිකා තත්වයක් ඇතිවීමට සාමාන්‍ය මට්ටමට වඩා වැඩි අවදානමක් ඇති කාන්තාවන් හදුනාගෙන, රෝග තත්වය ඇති නැති බව පරීක්ෂා කිරීමට ජානමය පරීක්ෂා සිදු කරනු ඇත.

පියයුරු පිළිකා තත්ත්වයට ප්‍රතිකාර කිරීම

පිළිකා තත්ත්වය මූලික අවධියේදී හඳුනා ගතහොත්, එය ශරීරයේ සමීප කොටස් වලට ව්‍යාප්ත වීමට පෙර එයට ප්‍රතිකාර කළ හැකිය. පියයුරු පිළිකා තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පහත ඒවායේ සංකලනයක් යොදා ගනී:

සාමාන්‍යයෙන් ඔබට ලබාදෙන පළමු ප්‍රතිකාර වර්ගය සැත්කම වේ. ඉන්පසුව රසායනික චිකිත්සක ප්‍රතිකාර, විකිරණ චිකිත්සාව හෝ සමහර අවස්තාවලදී හෝමෝනමය ප්‍රතිකාර හෝ ජෛවවිද්‍යාත්මක ප්‍රතිකාර ලබා දෙනු ලබයි. ඔබට සිදු කරන සැත්කමේ ස්වභාවය සහ ඉන්පසුව ඔබට ලබාදෙන ප්‍රතිකාරයේ ස්වභාවය ඔබට ඇති පියයුරු පිළිකාවේ වර්ගය මත රඳා පවතී. සුදුසුම ප්‍රතිකාර සැලැස්ම ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත. කාන්තාවන් සුළු පිරිසකගේ පියයුරු පිළිකා තත්ත්වය හඳුනා ගැනෙන්නේ එය ශරීරයේ අනෙක් කොටස් වලට ව්‍යාප්ත වූ පසුවය (මෙටාස්ථතික පියයුරු පිළිකාව). ද්විතීයික පිලිකා තත්ත්වය (දුර ගිය හෝ මෙටාස්ථතික පිළිකා තත්ත්වය ලෙසද හදුන්වයි) සුව කල නොහැක. එමනිසා ප්‍රතිකාර වලින් අරමුණු කරන්නේ රෝග ලක්ෂණ සමනය කර ගැනීමයි.

පියයුරු පිළිකා තත්ත්වය සමග ජීවිතය ගෙනයාම

පියයුරු පිළිකා තත්ත්වයක් ඇති බවට රෝග විනිශ්චය ලැබීම, එහි අවධිය මත සහ ඔබට ලබා දෙන ප්‍රතිකාරයේ ස්වභාවය මත, ඔබගේ එදිනෙදා ජීවිතයට විවිධ ආකාරයට බලපෑම් ඇති කල හැකිය. විවිධ කාන්තාවන් ඔවුන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර දරා ගන්නා ආකාරය එකිනෙකාට වෙනස් වේ. ඔබට අවශ්‍ය අවස්තාවලදී, විවිධ ආකාරයේ සහයන් ඇති නිසා ඔබට ධෛර්යමත් විය හැකිය. උදාහරණයක් ලෙස:

  • ඔබගේ පවුල සහ මිතුරන් ශක්තිමත් සහයක් විය හැකිය
  • එම තත්ත්වයේම පසුවන අනෙකුත් පුද්ගලයන් සමග ඔබට සාකච්ඡා කල හැකිය
  • ඔබගේ තත්ත්වය පිළිබඳව හැකිතාක් විස්තර සොයාගන්න
  • අනවශ්‍ය මට්ටමට දේවල් කිරීමට උත්සාහ කිරීමෙන් සහ අනවශ්‍ය ලෙස ඔබව පීඩනයට පත් කර ගැනීමෙන් වලකින්න
  • ඔබ වෙනුවෙන් යම් කාලයක් වෙන්කරගන්න

පියයුරු පිළිකාව වලක්වා ගැනීම

පියයුරු පිළිකා තත්ත්වයට නිශ්චිත හේතූන් සොයාගෙන නැති නිසා, දැනට එය වලක්වාගත හැකි දැයි දැනගත නොහැකිය. තත්ත්වය වර්ධනය වීමේ වැඩි අවධානමක් ඔබට පවතීනම්, එම අවධානම අඩුකර ගැනීමට ප්‍රතිකාර ඇත. පියයුරු පිළිකාව සහ ආහාර රටාව අතර සම්බන්ධතාව පිලිබදව පර්යේෂණ සිදුකර ඇත. නිශ්චිත නිගමන නොමැති නමුත්, පහත දේ කරන කාන්තාවන්ට ප්‍රතිලාභ ඇත:

  • සෞඛ්‍යයවත් ශරීර ස්කන්ධයක් පවත්වගෙන යාම
  • නිතිපතා ව්‍යායාම කිරීම
  • සංතෘප්ත මේදය අඩුවෙන් භාවිතා කිරීම
  • මද්‍යසාර පානය නොකිරීම

නිතිපතා ව්‍යායාම කිරීම මගින් ඔබට පියයුරු පිළිකා තත්ත්වයක් ඇතිවීමේ අවධානම තුනෙන් එකකට පමණ අඩු විය හැකි බව යෝජනා වී ඇත. නිතිපතා ව්‍යායාම කිරීම සහ සෞඛ්‍යයවත් ජීවන රටාවක් පවත්වාගැනීම මගින්, පියයුරු පිළිකාවෙන් පෙලෙන පුද්ගලයන්ගේ ඉදිරි දැක්ම වැඩිදියුණු කරගත හැකිය. ඔබට ආර්ථවහරණය සිදුවී ඇත්නම්, ඔබගේ ශරීර ස්කන්ධය වැඩි වීම හෝ ස්ථුලතාවය වලක්වා ගැනීම අතිශයින් වැදගත් වේ. මෙයට හේතුව නම්, ශරීර ස්කන්ධය වැඩිවීම හෝ ස්ථුලතාවය නිසා ශරීරයේ ඊස්ට්‍රජන් නිශ්පාදනය වැඩි වීම නිසා පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම ඉහල යාමයි.